Pages

Saturday, 29 May 2010

අද දවස...


සුභ දවසක් ඔබ සැමට!


මේ දිනවල මාගේ සාමාන්‍ය පුරුද්ද නම් ටිකක් දහවල් වී අවදි වීම වුනත්, ඊයේ දිනයටම කිසිවක් නොකැ නිසාදෝ උදෑසනින්ම අවදි වුණි. උණ හෙම්බිරිස්සවෙන් පෙළෙන මා හට කන්නට පිරියක් නැත.ඇත්ත වශයෙන්ම කියනවා නම් මා අහක යන ලෙඩ ද ඉල්ලා හදාගන්නා තරම් අඩු ප්‍රතිශක්තිකරණ ශක්තියක් ඇති අයෙකි. මට නොසෑදුනු ලෙඩක් නැති තරම් ය. මේ නිසාම මේ රටේ වෛද්‍ය පහසුකම් ගැන ලියන්නට සිතුණි...


මේ රටේ අත්‍යවශ්‍ය ලෙඩකට ඇරුණු කොට බෙහෙත් දෙන්නේ නැත. මොන තරම් අමාරු වුනත් කියනනේ vitamin c හා paracetamol ගෙන, දොඩම් යුෂ පානය කර විවේක ගන්නා (bedrest) ලෙසය. නමුත් ලංකාවේ හැදිවැඩුනු අපිට පුරුදු වි ඇත්තේ පුංචි ලෙඩටත් anti-biotics බී නිසා ඒවා හරි යන්නේ නැත. එම නිසාම ෆාමසියකවත් නැති තරම් බෙහෙත් කන්දරාවක් මා ලංකාවෙන් ගෙනවිත් ඇත. ලෙඩක් හැදුනු විට අම්මාගෙන් අසා හෝ ඇය ලවා වෛද්‍යවරයෙකුගෙන් අසා ගෙන ආ බෙහෙත් බොමි. ඇත්තටම මෙය නම් සිනාවට කාරණයක් ය. ඒ නම් අපේ රටවල් වල හොඳ කිරීමට අමාරු ලෙඩ්ඩුන් ව විශාල මුදලක් ගෙවා මේ රටවල් වලට ගෙන ආව ද, මෙහි සිටින අපට සිදුව ඇත්තේ ලංකාවෙන් ගෙන ආ බෙහෙත් බොන්නටය.


මෙසේ කියනවාත් සමඟ ම මට ප්‍රශ්නයක් නගන්නට සිතේ. එනම්, ඔබ සිතනා පරිදි මේ පරස්පර විරෝධි ක්‍රමයන් ට හේතුව අපේ වෛද්‍යවරු හොඳ ගානක් කඩා ගන්නට අපිට අනවශ්‍ය පරිදී බෙහෙත් ලබා දීම ද? නැති නම් අපේ රටේ මිනිසුන්ගේ ප්‍රතිශක්තිය ඇත්තට ම අඩු කම ද?

මුහුණු පොත....

එය දැන් නම් මට මහා කරදරයකි. මාගේ පියා ද එහි සාමාජිකයෙකි. සියලුම නෑදෑ සොහොයුරු සොහොයුරියන් ද පවුලේ මිතුරු මිතුරියන් ද request එවති. තවදුරටත් එය සමවයසේ මිතුරු මිතුරියන් හා අදහස් හුවමරු කරගන්නා, විහිළු තහලු කර ගන්නා ස්ථානයක් නොවේ. add නොකර ගතහොත් ඔවුන් තරහා වෙති. ඒ මදිවාට add කළ පසු ඕපාදුප සොයති. අම්මාට කේළාම් කියති. පෙම්වතා සමඟ පින්තුර පළ නොකරන්න යැයි අම්මාගෙන් කරදරේ ය. ඒ අන් අයගේ කතාවලට බයේ ය. එහි දී වත් මට අවශ්‍ය දේ කිමට, කිරීමට නිදහසක් නැත.කොටින් ම කිවහොත් එය දැන් ඕනිවටත් වඩා පොදු වී ඇත.

නමුත් මුහුණු පොත මාගේ ජීවිතයට සතුට ගෙන ආවේ ය. මා හා මාගේ පෙම්වතා හොඳ මිතුරන් වුයේ එහිදී ය. එම නිසා මම තවමත් එයට ආදරය කරමි. තවද, එය මාගේ පාළු කැපූ අවස්ථා එමට ය. එම නිසා දොස් කියමින් තවමත් එහි ක්‍රියාකාරි සමාජිකාවකි. මට මා ගැන ලජ්ජා සිතේ. මා කවදාත් කරදර වලින් මිදීමට වැඩි උත්සාහයක් ගත්තේ නැති දැ‍යි සිතේ. එක අතකින් පෙර ගෙන ආ අකුසල කර්මයන් විඳ අවසන් කළ යුතු ය.